හයිකු අද්දර
සියොත්හු -ගයති අතු මත - අප නො ලියූ කවි
Pages
Home
වසත් කල
ගිමත් කල
ශරත් කල
ශිශිර කල
හයිකු කවියන් ගැන
මගේ කෙටි කවි
Showing posts with label
ඉසා
.
Show all posts
Showing posts with label
ඉසා
.
Show all posts
Thursday, June 2, 2016
හයිකු | ඉසා | 16
කෘමියනි නො වැළපෙන්න
පෙම්වතුන් ද තාරකා ද
වෙන්විය විය යුතුය දවසක
-ඉසා-
Sunday, October 19, 2014
හයිකු | ඉසා | 15
මඳ පවන,
සුභ සැන්දෑවක්...!
නැවෙමින්
දඟර ගැසෙමින්
ගමරට බලා යන
ඔබේ ගමනට!
-ඉසා
Friday, July 13, 2012
පිනිබිඳු යට ඉපිද, ඔහේ ඇවිද ගිය තරුව- කොබයාෂි ඉසා [Kobayashi Issa]
දුක්බර ලෝකයක්
සුන්දරව පිපී නටන මල්
වැටෙන්නට නියමිත
හරියට අපි වගේ ම
- ඉසා
භාෂාව යනු සම්පූර්ණ දැනුම නොවේ. එහෙත් එය මිනිස් චර්යාවේ සෑම සංසිද්ධියක්ම සටහන් කර ගත හැකි දැනුම් පද්ධතියකට පිවිසෙන එක් දොරකි. -
Steve Perrin
හයිකු යනු ඒ දොරට යතුරකි.
‘කොබයාෂි නොබුයුකි’උපදියි... ඉදිරියෙන් දුෂ්කර ළමා විය සහ යෞවනය...
1763 ජුනි 15 වන දින ජපානයේ ගම්බද ප්‍රාන්තයක් වන
ෂිනානෝ ප්‍රාන්තයේ
(වර්තමානයේ- නගානෝ) එක්තරා ගොවි ගෙදරක
උපන් දින සිරියකි. එදින අලුත උපන් පිරිමි දරුවාට මාපියන් නම් දෙන්නේ
‘කොබයාෂි නොබුයුකි’
යනුවෙනි. ඔහු හැදී වැඩෙන්නේ
‘කොබයාෂි යටාරෝ’
යන නමිනි. මාපියන් සමඟ ඔහු සුරක්ෂිතව වැඩෙන්නේ වසර තුනක් පමණි. ඉපදී තෙවසරකට පසු මව මිය යන අතර මිත්තණිය ඔහු රැක බලා ගනියි. කොබයාෂිගේ ළමා වියෙහි ප්‍රීතිය අතුරුදන් වන්නට පටන් ගන්නේ පියා නැවත විවාහයක් කර ගැනීමෙන් පසුය. කුඩම්මා ‘කොහොමටත්’ මේ කොළුවාට අකමැති අතර තත්ත්වය වඩාත් බැරෑරුම් කරමින් ඔහුගේ මිත්තණිය ද මියයයි. තාත්තාට හා කුඩම්මාට දාව පිරිමි දරුවෙකු ඒ සමඟම උපදියි. දැන් කොබයාෂිගේ වයස 14 කි. තමන් උපන් නිවසේ ම හුදෙකලාවන මේ ස්වභාවයෙන් ම දොම්නස් සහගත දරුවා කුඹුරුයායවල ඇවිදිමින් කාලය ගත කරයි. ඔහුගේ ‘තද ගති ඇති- රළු පරළු’ කුඩම්මාට මේ හැසිරීම ඉමහත් වධයකි.
කෙසේ හෝ ඉන් වසරකට පසු ඔහුගේ පියා විසින් අධ්‍යාපනය සඳහා කොබයාෂි
‘ඉඩෝ’
(වර්තමානයේ - ටෝකියෝ) වෙත යවනු ලැබෙයි. එතැන් පටන් අපේ කතා නායකයාගේ ජීවිත කතාවෙන් පුරා වසර දහයක පිටු ගැලවී ගොසිනි. වසර 25 දී
චිකු ආ
නම් ගුරුතුමාගේ
නිරෝකුඅයන් හයිකු පාසලෙන්
කොබයාෂි මතුවන්නේ
‘ඉක්යෝ’
යන නමිනි. 1790 දී චිකුආ ගුරුතුමා මියයන අතර ඉන් වසර 11 ක් ගත වන තුරු ඔහු ජපානය පුරා සරමින් විවිධ හයිකු කවියන් හමුවෙමින් හයිකු පාසල්වලට යමින් එමින් සහ ලියමින් කාලය ගත කරයි.
තේ කෝප්ප 20,000 ක රස....
ජපානයේ හයිකු කවියෙහි දුලන මිණි සේ සැළකෙන සිව් දෙනෙකි.
බෂෝ
,
බුසොන්
සහ
ෂිකි
සමඟ 19 වන සියවසේ මැද භාගයේ ජපානයේ සුප්‍රකට හයිකු කවියෙකු බවට පත්වන මේ
කොබයාෂි යටාරෝ
සිය මුල් නම වෙනුවට හයිකු ලිවීම වෙනුවෙන් ම
‘ඉසා’
යන අන්වර්ථ නාමය භාවිත කරනට පටන් ගනියි. එහි අරුත ‘තේ කෝප්පය’ යි.
චිත්‍රය 1-
ඉසා ලියූ හයිකු
ඉසා අතින් ලියැවුණු හයිකු කවි සංඛ්‍යාව 20,000 කට අධික ය. ඒවා අද පවා සාහිත්‍යලෝලීන්ගේ ආදරය ඔහු ට දිනා දෙයි.
A History of Haiku
නම් ග්‍රන්ථයෙහි
R. H. Blyth
විස්තර කරන පරිදි ඔහු ගේ සියලු විඳවීම් සහ ඔහු මුහුණ දුන් විවිධ පරීක්ෂාවන් පමණක් නොව ළදරුවෙකුගේ බඳු සරළ බවක් ඔහුගේ කවිවලින් විද්‍යමාන විය. සාමාන්‍ය ව්‍යවහාරයේ දී සහ ප්‍රාදේශීය බස් වහරේ යොදා ගන්නා යෙදුම් නිදහස් අයුරකින් භාවිත කළ ඔහු පැළෑටි ගැන මෙන්ම කුඩා සතුන් ගැන ද බොහෝ කවි ලියුවේය.
ඉසා සිය කවිවලින් මදුරුවන් - මැස්සන්- වවුලන්- පූසන්- කණාමැදිරීන් ගැන සැලකිලිමත් වූ පරිදි ම ඒ කවි ශෝක රසය හා මුසු කළ පරිදි ම මිනිස් සන්තානයට ආවේණික වූ විෂද හැසිරීම් රටාවල සියුම් වෙනස්කම් ගැන ඔහු සතු වූ ඥානය ද ඒවාට මුසු කළේ ය. හයිකුවලට අමතරව ගද්‍ය රචනා ද කළේ ය.
‘මගේ තාත්තාගේ අවසාන දින කීපය ගැන සටහනක්’
සහ
‘මගේ ජීවිතයේ අවුරුද්ද’
ඉන් කීපයකි. එපමණක් නොව සිය කවි සමඟ ඔහු විසින් අඳින ලද සරළ එහෙත් අපූරු චිත්‍ර ද විචාරකයින්ගේ පැසසුමට බඳුන් වෙයි. සෙන්(Zen) බුදු දහමේ දර්ශනය කැටි කොට දක්වා ලූ ඒවායේ සරළ බව තුළ තිබූ ගැඹුරු බව ඔහුගේ හයිකු කවි සේම ප්‍රබල ය.
චිත්‍රය 2-
ඉසා විසින් අඳින ලද චිත්‍රයක්
ඔහේ ඇවිද ගිය තරුව...
ඉසාගේ නිර්මාණ කියවා ගත හැකි ආකාර බොහෝ ය. ඒ අතරින් සැරිසරීමෙන් ඔහු ලත් වින්දනය ඔහු ඔහු හයිකු තුළ කැටි කල අයුරු සුවිශේෂී ය. ඉබාගතේ යන තරු යට උපන් ඔහු කිසිදා සංචාරය අත් නො හළේ ය.
මගේ තාරකාව
රාත්‍රියට නවාතැන් ගන්නේ
කොතැනද?
පාරාදීසයේ ගංගාව
1791 දී වරක් සිය
උපන් ගම වන
කෂිවබරා
වෙත එන ඔහු මෙසේ ලියයි.
කඩුල්ල ළඟ ඇති
ගස පවා හොඳ සුවෙන්
සැඳෑ සිසිල
පිනි බිඳු තුළ අනිත්‍යය, දුක්බර අත්දැකීම්වල මතකය මෙන්ම සෞන්දර්යය ද කැටි වෙයි.
පිනිබිඳු වියළෙයි
මුලු ලොවම එකම තුෂාරයක්
අදරැති නැවුම්
එහෙත් අතිර
ජීවිතයේ දුක්බර වූ මලානික පිය සටහන් මත පවා මල් පිපෙයි.
මල් පිපෙයි
සොවින් වේදනාවෙන්
සැදුණු ලොව තුළ පවා
වසන්තය යනු අපට බොහෝ දාර්ශනික පාඩම් සෞන්දර්යාත්මකව කියා දෙන ඍතුවකි.
එළඹෙයි වසත් කල
පැරණි මෝඩකම් අලුත්වෙන
අලුත් වැරදිකරනට නැවුම් මං
සොයා ගැනෙන
මැක්කන්, මැස්සන්, ගොළුබෙල්ලන් තණකොළපෙත්තන් සහ....
කිසිවෙකුගේ අවධානය යොමු නොවන ,
පරිසරයෙන් නිරන්තරයෙන් හමුවන අනාරක්ෂිත කුඩා ජීවීන් පිළිබඳ ව ඔහු සතු වූ සානුකම්පිත ආකල්පය තවත් මානයකි
. ඉසා ගොළුබෙල්ලන් ගැන ලියූ කවි ගණන 54 කි. ගෙම්බන් ගැන කවි 200 ක් පමණ ද කණාමැදිරියන් ගැන කවි 230 ක් පමණ ද මදුරුවන් ගැන කවි 150 කට අධික සංඛ්‍යාවක් ද මැස්සන් ගැන කවි 90 ක් පමණ ද මැක්කන් ගැන කවි 100 ක් පමණ ද රැහැයියන් ගැන කවි 90 කට ආසන්න සංඛ්‍යාවක් ද ලියා ඇත. ආසන්න වශයෙන් ඔහු එබඳු කුඩා ජීවින් ගැන ලියා ඇති කවි ගණන දහසක් පමණ වෙයි. ඇතැම් විට මේ කුඩා සතුන් ගැන ඔහු තුළ තිබූ ඇල්ම ඔහුගේ ළමා කාලය හා බැඳී ගත් එකක් ද විය හැකිය. මව අහිමිව කුඩම්මාගේ වෙනස්කම්වලට පාත්‍ර වෙමින් නිවෙසින් පිටස්තරව වැඩෙන්නට බල කරනු ලැබූ ඒ ළමා වියේ අත්දැකීම් පිහිටක් නැති අසරණ දුබල සතුන් කෙරෙහි දයාවෙන් බැලීමට ඔහු පොළඹවන්නට ඇත. එමෙන්ම ගිහි පූජකයෙකු ලෙස පරිසරය කෙරෙහි වූ අවිහිංසාවාදී බෞද්ධ ආකල්පය ද ඊට හේතු විය හැක.
තණකොළපෙත්තන් සමඟ කතා කරද්දී පිනි බිඳක ජීවිතය ගැන පවා සියුම් වූ සංවේදනා පහළ වෙයි.
තණකොළපෙත්තෝ
පාගන්නෙ බලාගෙන
බිඳෙයි කැබලිවලට
දිළසෙන පිනි මුතු
ගොළුබෙල්ලෙකු කෙරෙහි සිය ආදරය පතුරුවන අතරම අතිර වූ ජීවිත ගමන මෙන්ම එහි මතකයන් ද ගොළුබෙල්ලෙකුගේ සෙවණැල්ල බඳු බව කියන’යුරු....
පුංචි ගොළුබෙල්ලෝ
බලාපන් බලාපන්
නුඹේ හෙවණැල්ල දෙස ...
R. H. Blyth විසින් ඉංග්‍රීසියට නඟන ලද පහත කව බලන්න.
චිත්‍රය 3-
ඉසාගේ චිත්‍රයක්
අනේ පුංචි ගොළුබෙල්ලෝ
නඟින්න ෆුජි කන්ද
බලාගෙන
හෙමින් - හෙමින්..
වෙනස්කම් පුළුවන්කම් සහ බැරිකම් හැම තැනම ඇති ගැටළුවකි. ඒහෙත් මුහුණ දිය යුතු යථාර්තයකි.
කෘමියන් අතර පවා
ඇතමුන්ට ගී ගැයිය හැක
ඇතමුන්ට බැරිය.
සෝබර දිවියේ පිය සටහන් මත ඇඳුණු හයිකු...
පිනි බිඳක් බඳු ඉසාගේ ජීවිතය පුරා ඔහු අතින් අතින් ලියැවුණු නිමක් නැති හයිකු අතර සැඟව තිබුණේ ඔහුගේ මිනිස්කම සහ ඔහු විසින් දරා ගැනුණු දහසක් වේදනාවන් ය.
ඔහුගේ කවිය සහ ජීවිතය යනු දෙකක් නොව එකක් ම වී. කවි යනු ඔහුගේ හදවතෙහි දින පොත විය.
චිත්‍රය 4-
ඉසා විසින් අඳින ලද තමාගේ ම රුවක්
ජපානය පුරා ඇවිදිමින් වැඩ කරමින් සහ ලියමින් සිට 1810 දී යළි ගම් පළාතට එන ඔහු අපට හමුවන්නේ සිය පියා මිය ගිය පසු ඔහුගේ ඇවෑමෙන් තමන්ට හිමි විය යුතු දේපළ කොටස වෙනුවෙන් නීතිමය ක්‍රියා මාර්ගයට එළඹෙද් දී ය. පියාගේ මරණය නිසාවෙන් කලකට පසු ගමට එන ඉසා සිය ගමට පිවිසෙද් දී ආ මුල්ම හැඟීම මෙසේ ලියා තැබුවේය.
ආහ්!
එහෙනම් මේකයි මගේ
අන්තිම නවාතැන?
අඩි පහක් උසට හිම!
කුඩා කල තාත්තා සමඟ ගෙවූ මතකය අවදි වන විට මව අහිමිවූ පසු ඉතිරි වූ ළඟම නෑයා වන තාත්තා ද නික්ම ගිය බව දැනෙයි.
අනේ ! තාත්තා සිටියා නම්
බලා ඉන්නට මා සමඟ
නිල් ගොයමට උඩින්
උදාවෙන හිමිදිරිය
වසර ගණනක් නඩු කීමෙන් පසු දේපළවලින් අඩක් හිමි කරගන්නා ඔහු 49 වැනි වියේ දී යළි සිය ගම් පළාතේ පදිංචියට පැමිණෙයි. එසැණින්ම මෙන් සිය ප්‍රථම විවාහයට එළයඹෙන ඔහුගේ ප්‍රීතිය රැඳී පවතින්නේ ටික කලකි. ඔහුට ඉපදෙන පළමු පිරිමි දරුවා ඉපදුණු සැණින් මියයන අතර ඉන්පසු ඉපදෙන දියණිය ඉපදී වසර 2 ½ ක් වැනි කෙටි කලකින් මිය යයි. මේ හයිකු කව ලියැවෙන්නේ එවිට ය.
පිනි බිඳු වන් ලොව
ඔව්! පිනි බිඳු වැනිය ලොව
තවමත්...
ඊළඟට ඔවුන්ට උපදින දරුවා ද මිය යන අතර ඉසාට වයස 61 වෙද් දී අවාසනාවන්ත ලෙස ඔහුගේ බිරිඳ ද මිය යයි. දෙවන විවාහය ද කෙළවර වන්නේ දික්කසාදයෙනි.
Peter Beilenson විසින් පරිවර්තිත මේ කව ඔහුගේ වේදනාවන් මොනවට කියා පායි.
අහෝ!
මවිසින් සුමුදුව ස්පර්ශ කරන සියල්ල
කටු මෙන් ඇනී
මා රිදවයි
.
D. T. Suzuki විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කොට තිබුණු මේ හයිකුව අතේ සතයක් නැතිව ණය බරින් මිරිකෙමින් සිටි කාලයේ දී ඔහු අතින් ලියැවුණකි.
විශ්වාස කොට
බුදුන්, හොඳ සහ නරක
සමු දුන්නෙමි
නික්ම යන වසරට
දෙවන බිරියගේ දික්කසාදයෙන් පසු ඔහුට හෘදයාබාධයක් වැළඳුණි. එහි ප්‍රතිඵලයක් ලෙස තාවකාලිකව කතා කර ගත නොහැකි වූ ඉසා මෙසේ ලියා තැබුවේය.
අපොයි මෙහෙමත් කරදරයක් !
කැලෑ පාත්තයින් පවා
නිදහසේ අඬ ගසන හැටි
සිය මිතුරන්ට..
ඉන් පසු ඔහු යළිත් වරක් විවාහ වන අතර 1827 දී
කෂිවබරා ගම්මානය
පුරා පැතිරුණ ගින්නකින් ඔහු වසන නිවස ද ගිනිබත් විය. ගිනිගත් නිවස ගැන ඔහු මෙසේ ලීවේය.
මැස්සන්..
දැවෙන නිවසින් පණ බේරාගෙන
මගේ සරණාගතයින් වෙලා
මෙන්න මෙහෙ ඇවිත්
නිවස ගිනිගත් පසු මිය යන තෙක් අවසාන කාලය ගෙවූ ගබඩා කාමරය අදටත් එම ගමෙහි සුරැකිව ඇත. 1828 ජනවාරි 28 වැනිදා ඇතිවූ හෘදයාබාධයක් නිසාවෙන් කයෙන් නිදහස් වන්නට පෙර මෙසේ ලියා තබන්නට ඔහු අමතක කර තිබුණේ නැත.
කෙනෙකු මිය යයි
දෙදෙනෙකු මිය යයි
මළගියවුන් වෙනුවෙන්
ලන්තෑරුම් දැල්වෙයි
ජනප්‍රිය ජපන් හයිකු සංස්කෘතිය තුළ බෂෝ සහ බුසොන් ව ඉහළ තැනක ස්ථානගත කෙරුණු මුත්
ඉසා
, නැතහොත් ඔහු තමන්වම හඳුන්වා ගත් පරිදි
‘ෂිනානෝ ප්‍රාන්තයේ ලොකුම සිඟන්නා’
ඉඳගෙන සිටියේ ඔවුන්ගේ
වේදිකාවට පහළින් සිටි ජනතාව අතර ඔවුන්ගේ උරෙනුර ගැටෙමිනි. වඩා මිනිස්කමින් යුතුව කාටත් ළඟා විය හැකි පරිද්දෙනි
.
[චිත්‍ර 1,2,3, සහ 4: කොබයාෂි ඉසා]
[හයිකු කවි ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය: ලිපියෙහි ලේඛිකාව විසිනි. ]
ආශ්‍රිත වෙබ් අඩවි:
Sunday Poem-Kobayashi Issa
onmymynd.wordpress.com
wikipedia.org
simplyhaiku.com
haikuaddara.blogspot.com
ඉසාගේ කවි
The Haiku and Poems of Kobayashi Issa
Wednesday, February 22, 2012
හයිකු | ඉසා | 14
දුක්බර ලෝකයක්
සුන්දරව පිපී නටන මල්
වැටෙන්නට නියමිත
හරියට අපි වගේ ම
ඉසා
Sunday, February 19, 2012
හයිකු | ඉසා | 13
පිනිබිඳු වියළෙයි
මුලු ලොවම එකම තුෂාරයක්
අදරැති නැවුම්
එහෙත් අතිර
-ඉසා-
Thursday, February 2, 2012
හයිකු | ඉසා | 12
සරල දිවියක්...
අවපැහැ වී
බිම වැටෙන
චෙරි මල මෙන්
-ඉසා-
Thursday, January 26, 2012
හයිකු | ඉසා | 11
ගිම්හාන රාත්‍රිය
තරු පවා
එකිනෙකට කොඳුරන
-ඉසා-
හයිකු | ඉසා | 10
එළඹෙයි වසත් කල
පැරණි මෝඩකම් අලුත්වෙන
අලුත් වැරදිකරනට නැවුම් මං
සොයා ගැනෙන
-ඉසා-
හයිකු | ඉසා | 9
තණකොළපෙත්තෝ
පාගන්නෙ බලාගෙන
බිඳෙයි කැබලිවලට
දිළසෙන පිනි මුතු
ඉසා
හයිකු | ඉසා | 8
අහා! යහපත් ලොව
පිනි බිඳු වැටෙයි
එක එක
දෙක දෙක
-ඉසා
-
Thursday, January 19, 2012
හයිකු | ඉසා | 7
අනේ ! තාත්තා සිටියා නම්
බලා ඉන්නට මා සමඟ
නිල් ගොයමට උඩින්
උදාවෙන හිමිදිරිය
-ඉසා
Friday, December 30, 2011
හයිකු | ඉසා | 6
දුම නැගෙයි ඉහළට
නව වසරේ
පළමු අහස
ඉසා
Monday, December 19, 2011
හයිකු | ඉසා | 5
පුංචි ගොළුබෙල්ලෝ
බලාපන් බලාපන්
නුඹේ හෙවණැල්ල දෙස ...
-ඉසා
හයිකු | ඉසා | 4
ලොකු හිම කැටියක්
එතුළ කැටිවුණු
මිනිස් හඬවල්
-ඉසා
හයිකු | ඉසා | 3
පියවරෙන් පියවර
ගිම්හානයේ කඳු මත
මෙන්න මුහුද
-ඉසා
හයිකු | ඉසා | 2
මල් පිපෙයි
සොවින් වේදනාවෙන්
සැදුණු ලොව තුළ පවා
-ඉසා
හයිකු | ඉසා | 1
අපායේ වහල මතින්
ඇවිද යමු
මල් දෙස බලමින්....
-ඉසා
Older Posts
Home
Subscribe to:
Posts (Atom)